Sunday 9th of November 2025

English Tamil
Advertiesment


බාසිලෝනා - රියාල් මැඩ්රීඩ් ජයග්‍රහණයකින් තරඟ වාරය ආරම්භ කරයි


2025-08-20 1390

 

2025-26 නව යුරෝපීය පාපන්දු තරගවාරයේ ප්‍රිමියර් ලීග් සහ ලාලිගා මේ සති අන්තයේ ආරම්භ වුණා. එහිදී රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා කළ තරගය සති අන්තයේ පැවැත්වූයේ නැති නිසා පළමු තරග දිනය අවසන් වීමට ඊයේ රාත්‍රිය වන තෙක් කල් ගත වුණා.

පළමු තරග දිනයේදීම සාර්ථක ආරම්භයක් ලබාගත් බාසිලෝනා ගෝල 3-0 ක ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ මයොර්කා පරාජයට පත් කරමින්. තරගයේ මයොර්කා ක්‍රීඩකයන් ද්විත්වයක් රතු කාඩ්පත් ලැබූ නිසා තරගයේ බොහෝ වෙලාවක් ඔවුන් ක්‍රීඩා කළේ ක්‍රීඩකයන් 9 දෙනෙක්ගෙන්.

රෆීන්යා, ෆෙරාන් ටොරස් සහ ලමීන් යමාල් බාසිලෝනා වෙනුවෙන් ගෝල ලබා ගත්තා. තම පළමු තරගයට ක්‍රීඩා කළ ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ නෑ. ඔවුන් එස්පැන්යෝල් හමුවේ ගෝල 2-1 ක පරාජයක් ලබා ගනිමින් තරගවාරය ආරම්භ කළා.

එමෙන්ම තරග දිනයේ අවසන් තරගය ක්‍රීඩා කළ රියාල් මැඩ්රීඩ් ගෝල 1-0 ක් ලෙස ඔසසුනා පරාජයට පත් කරමින් ජය ගත්තා. තරගයේ වාර්තා වූ එකම ගෝලය 51 වන විනාඩියේ දී දඬුවම් පහරක් සාර්ථක කරගත් කිලියම් ම්බප්පේ විසින් වාර්තා කළා.

පළමු තරග දිනයේ වඩා සාර්ථකම තරග ප්‍රතිඵලය වාර්තා කිරීමට බාසිලෝනා සමත් වූ නිසා ඔවුන් ලීග් සටහනේ පළමු ස්ථානයේ පසු වනවා. රායෝ වැයකානෝ සහ වියරියාල් යන කණ්ඩායම් වලට දෙවන සහ තෙවන ස්ථාන හිමියි.

පළමු තරග දිනය තුළ පැවති තරග වලදී කණ්ඩායම් 8 ක් ජයග්‍රහණයන් වාර්තා කළ අතර තවත් තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. දෙවන තරග දිනය මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතයි.

Advertiesment